ග්‍රාමීය සිවිල් සංවිධනවල හඬ ජාතික මට්ටමින් බලමුළුගන්වන ඒකාබද්ධ සිවිල් සමාජ සන්ධානයක් වන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරය (PMDR) කොළඹ සිය ප්‍රධාන කාර්යාලය පසුගිය දා (09) විවෘත කරනු ලැබීය.

ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන සියල්ල ජාලගත කරමින් ග්‍රාමීය සිවිල් සමාජ හඬට ජාතික මට්ටමින් මතුවීමට වේදිකාවක් සැකසීම සහ ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ශක්තිමත් කරමින් තරුණ අපේක්ෂා අනුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ජාතික මට්ටමින් කටයුතු කිරීම PMDR හි ප්‍රමුඛතම අරමුණ බව එම සංවිධානයේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියි.

එම සංවිධානයේ කොළඹ ප්‍රධාන මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාව හිටපු මැතිවරණ සහ සීමා නිර්ණය කොමිෂන් සභාවල සභාපති ලෙස කටයුතු කළ මහින්ද දේශප්‍රිය, ආචාර්ය රංග කලන්සුරිය, ඒෆ්‍රියල් තරුණ ජාලයේ විධායක අධ්‍යක්ෂිකා ඉෂාරා මධුවන්ති, කලාපීය බලගැන්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දකුණු ආසියානු මධ්‍යස්ථානයේ (SACRED) විධායක අධ්‍යක්ෂක සංජීව ෆොන්සේකා, මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත, නීතිඥ අකලංක හෙට්ටිආරච්චි, උදිත් ඉරෝෂ්, විභීතක සිල්වා ඇතුළු තරුණ සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරය (PMDR) යනු ශ්‍රී ලංකාවේ නෛතික, සමාජ, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හි සිදුවිය යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සක්‍රීයව කටයුතු කරන සහ තවත් සිවිල් සහ තරුණ කණ්ඩායම් එම ක්‍රියාවලියට අදාළව පෙළගස්වමින් කටයුතු කරන තරුණ සිවිල් ව්‍යාපාරයක් වන අතර එම සංවිධානය සහ තවත් ප්‍රධාන සංවිධාන 22 ක් එකතුව ප්‍රධාන ප්‍රතිසංස්කරණ තේමා අටක් ඔස්සේ මූලික ප්‍රතිපත්තිමය ලියවිලි 08 ක් පසුගිය 2023 වසරේ දෙසැම්බර් 10 වන දින කොළඹ 07 ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී එළිදැක්වූ අතර එකී මූලික ලියවිලි වල සඳහන් යෝජනා මත පදනම්ව දේශපාලන සමාජයේ සහ සිවිල් සමාජයේ දායකත්වය ලබාගෙන අවසානාත්මක ප්‍රතිසංස්කරණ කෙටුම්පත් සකස් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන බව මෙම අවස්ථාවේදී ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සඳහා ජනතා ව්‍යාපාරය විසින් අවධාරණය කෙරුණු අතර එම ක්‍රියාවලිය අවසානයේ එකී ප්‍රධාන ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ ඉටුකරගැනීම උදෙසා දිවයින පුරා සිවිල් සමාජ සංවිධාන බලමුළුගැන්වීම අපේක්ෂාකරන බවත් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම ක්‍රියාවලිය තුළ ‘බලය බෙදීම සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ’ යන තේමාව සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබාදීමටත් වර්ෂ 2000 දී ඉදිරිපත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත පදනම් ලියවිල්ලක් ලෙස යොදා ගනිමින් ඊට පසු ඉදිරිපත්වූ තිස්ස විතාරණ සර්ව පාක්ෂික කමිටු වාර්තාව, ලාල් විජේනායක කමිටු වාර්තාව සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් 2021 වසරේ දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය පිළිබඳව අවධානය යොමු කරමින් අවසානාත්මක කෙටුම්පතක් සකස් කිරීමේ කෙරෙහිත් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරයේ මූලික අවධානය යොමු වී තිබේ. නුදුරු දිනකදී සිය සංවිධානය විසින් ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සඳහා ජාතික මහ සමුළුවක් කැඳවීමට අපේක්ෂා කරන බවත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක තරුණ සහ සිවිල් සංවිධාන වලට සිය සංවිධානය සමඟ අත්වැල් බැඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙසත් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරය ආරාධනා කර සිටින බව එම සංවිධානයේ මහජන සබඳතා සහ සන්නිවේදන අංශය විසින් වැඩිදුරටත් දන්වා සිටියි.