මේ රටේ රිලවුන් මිලදී ගැනීමට චීනයට අමතරව තවත් රටවල් ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත්වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද (5) පවසා ඇත.

රිලවුන් රට යැවීම අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නතර වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා රිලවුන් රට යැවීමේ අදහස අතහැර නැතැයිද සඳහන් කර තිබේ.

පරිසර සංවිධාන යැයි කියාගන්නා පිරිස් මෙම කටයුත්තට විරුද්ධ වුවත් සාමාන්‍ය ජනතාව ඊට කැමති බවද ඔහු පවසා ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

‘රිලවුන් ඇතුළු වන සතුන් හේතුවෙන් බිලියන ගණනක ආහාර විනාශයක් සිද්ධ වෙනවා. මේ නිසා මේ වැඩේට ජනතාව විරුද්ධ නෑ. පරිසර සංවිධාන යයි කියාගන්නා කණ්ඩායම් නිසයි මේ වැඩපිළිවෙළ නතරවෙලා තියෙන්නෙ. අපි මේ ගැන දිගටම අවධානය යොමු කරනවා. වන සතුන්ගෙන් බෝග වලට සිදුවන හානිය අවම කර කරගැනීමට වැඩ පිළිවෙළක් හදන්න ඕන. වන සතුන් මරන්නේ නැතුව සත්වෝද්‍යානය වලට යවන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්.රිලවුන්ගෙන් ගෙන්වාගන්න තවත් රටවල් විමසීම් කරල තියනව. ඒ නිසා ඒ ඉල්ලීම් තානාපති කාර්යාල හරහා එවන්න කියලා අපි කිව්වා. තියෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා රිලවුන් රට යවන වැඩේ නැවතී තිබෙනවා’.