ත්‍රස්තවාදයට සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට අනුබල දුන් බවට චෝදනා කරමින් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනකුගේ නම් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ,විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් මෙම පුද්ගලයන් දෙදෙනාගේ නම් අසාදු ලේඛනයෙන් නිල වශයෙන් ඉවත් කරමින් අද ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

මෙලෙස අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇත්තේ වව්නියාව වෙප්පම්කුලම් මරදවාඩි මාවතේ පදිංචි නික්ලපිල්ලේ ඇන්ටනි එමිල් ලක්ෂ්මි කාන්තන් හෙවත් රමේෂ් සහ යාපනය නල්ලූර් කච්චේරිය පාරේ පදිංචි මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන දෙදෙනායි.

එමිල් කාන්තන් හෙවත් රමේෂ් 2014 වසරේ සිට අසාදු ලේඛනයට ඇතුළත්ව සිටියේ, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් 2010 ජූලි 27 වැනිදා සිට අන්තර්ජාතික පොලිසියේ රතු නිවේදනයක් නිකුත්වීමෙන් පසුවය.

2014 මාර්තු 21 වැනි දින අංක 1854/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පළකරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව වරින්වර යාවත්කාලීන කර සංශෝධනය කර ඇති බව අඅමාත්‍යංශය පැහැදිලි කර ඇත.