තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින්ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. එයට හේතුව සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

67 හැවිරිදි ස්‍රෙතා තවිසින් වසර 16කට පසු තායිලන්තයේ අධිකරණ තීන්දුවකින් නෙරපා හරින ලද තුන්වන අගමැති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ. එම තීන්දුව ලබා දෙමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ ස්‍රෙතා තවිසින්, ඔහුගේ ධූරය හා සම්බන්ධ ආචාර ධාර්මික නීති උල්ලංඝනය කර ඇති බවයි.

කෙසෙ නමුත් පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත් කරන තුරු තායිලන්තයේ වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ස්‍රෙතා තවිසින් පසුගිය පෙබරවාරි 03 වන දින මෙරටටද පැමිණියේය.