මරදාන, කොටුව, කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශවල “තිලීපන්” සැමරුම් උත්සව පැවැත්වීම සහ අදාළ පාර්ශ්වයන්ට ස්ථාන කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

එමෙන්ම යාපනය, නල්ලූර් කෝවිල අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය තිලීපන් නමැත්තාගේ 32 වැනි අනුස්මරණ වැඩසටහන යාපනය නල්ලූර්හිදී අද (19) පැවැත්විණි.

මේ සඳහා සහභාගි වී සිටි පිරිස අතර යාපනය නගරාධිපති එමානුවෙල් අර්නෝඞ් සහභාගී වී ඇත.

මෙම අනුස්මරණ වැඩසටහනේදී මිය ගිය තිලීපන් දමිළ ජනතාවගේ වීරයකු ලෙසට හා ඔහු දමිළ ජනතාවගේ අයීතීන් වෙනුවෙන් දිවි පිදුවෙකු වශයෙන් සලකා පිං අනුමෝදන් කිරීමක් ද මෙහිදී සිදු කෙරුණ අතර මේ සඳහා විශාල පිරිසක් ද සහභාගි වී තිබේ.