මාර්ග සංවර්ධන අධිකාරිය වසර තිහක් පුරා සේවකයන්ට ලබා දුන් ඉතිරි වූ අසනීප නිවාඩු දීමනාව අත්හිටුවීම සහ තවත් ඉල්ලීම් ලබා දෙන ලෙස බල කරමින් දක්ෂිණ අධිවේගයේ මුදල් අයකිරීම ලබන 22 වන දා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා නවතා දමනු ලබන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය සඳහන් කර ඇත.

2022 වසරේ අසනීප නිවාඩු 21ක් තිබෙන අතර එම නිවාඩුවල ඉතිරි කරගත් දින සඳහා ගෙවීම් 2023 වසරේදී සිදුකළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ දීමනාව වසර 30ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබුව ද මේ වසරේ සිට එම ගෙවීම් නතර කිරීමට එරෙහිව මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා පවසා තිබේ.

මීට පෙර සේවා අවස්ථාවේදී කළුපටි හිසේ පැළඳ නිහඬ විරෝධතාවක් සහ අමාත්‍යාංශය ඉදිරිපිට කෑම පැයේදී දැක්වූ විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 18 වන දා අමාත්‍යවරයා තම සාමාජිකයන්ට සාකච්ඡාවක් ලබා දුන් බවත් එහිදී සති දෙකක් ඇතුළත සිය මූලික ඉල්ලීම වූ ලෙඩ නිවාඩු ගෙවීම් කිරීමට පොරොන්දු වූ බවත් සඳහන් වේ.

මාස දෙකකට වැඩි කාලයක් ගත වූ පසුව එම දීමනාව ලබාදිය නොහැකි යැයි අමාත්‍යවරයා දැනුම් දීම සහ 2009 බඳවා ගැනීමේ පටිපාටියට අධිවේගී මාර්ග සේවකයන් ඇතුළත් නොකිරීම උසස්වීම් සහ පඩි වැඩි කිරීම් නොකිරීම යන ඉල්ලීම් පදනම් කරගනිමින් මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සංගමය තීරණය කළ බවත් සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

අධිවේගී මාර්ග සේවකයන්ට මෙන්ම මේ ගැටලුව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ට ද බලපාන බවත් එදින මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා ඇති සියලු ම ශාඛා සහ ප්‍රධාන කාර්යාලවල සේවකයන්ද අනිවාර්ය ලෙඩ නිවාඩු දමනු ලබන බවත් සභාපතිවරයා පවසා තිබේ.