දකුණු කොරියාවේ සෝල් අගනුවරට දකුණින් පිහිටි ‘හ්වාසොං වල පි​හිටි ලිතියම් බැටරි කම්හලක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් 16 දෙනෙක් මියගොස් 5 දෙනෙක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අතුරුදන් කම්කරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී තිබෙන අතර ගිනි නිවන හමුදා භටයින්ට තවමත් එම බැටරි බලාගාරය තුළට ගොස් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට නොහැකි වී ඇති බව කොරියානු මාධ්‍ය වාර්තා කළා.

ගිනි නිවන හමුදාවේ නිළධාරියෙකු වන ‘කිම් ජින්-යං’ මාධ්‍යය වෙත ප්‍රකාශ කර ඇත්තේ ගින්න යම්තාක් දුරට හෝ පාලනය වූ පසු ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන බවයි.

කම්කරුවන් හට සමාගමෙන් ලබා දී ඇති සබඳතා හරහා අතුරුදන් 21 දෙනා සිටින ස්ථාන පිළිබඳ සොයා ගැනීමට හැකිවනු ඇති බව ‘කිම් ජින්-යං’ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු කොරියානු ජනාධිපති ‘යූන් සුක් යෝල්’ විසින් අදාළ බලධාරීන්ට හදිසි උපදෙස් ද නිකුත් කරමින් පවසා ඇත්තේ “මිනිසුන් සෙවීම සහ මුදාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පවතින සියලුම පිරිස් සහ උපකරණ බලමුළු ගන්වන ලෙස”යි

එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත ‘ගිනි නිවන භටයින්’ ගේ ආරක්ෂාව ද තහවුරු කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.