හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත ​ශ්‍රී දළදා වන්දනාව​ට කිසිදු අවස්තාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන් වෙත විශේෂ පෝලිමක් නොමැති බව පොලිසිය පවසයි.

මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සිරි දළදා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ කියා සිටියේ ඔවුන්ව ද විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.

මේ අතර, විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්ක‍රන් බව ඔහු පැවසුවේය.

දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එසේ වුවත් ඔවුන් සියලුදෙනා දළදා මාළිගයෙන් උදෑසන 10.30 වනවිට පිටවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඇතුළු කරන අතර, පෝලිම් දෙකක් ලෙස පිටකිරීම සිදුකරන බව ද පැවසු ඒ මහතා පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන් අපහසුතාවයට පත්විය හැකි බව ද සඳහන් කළේය.