දියවන්නාවෙ ආධිපත්‍යයට වෛර කළාට,දියවන්නා කුමාරියට ගොඩක් දෙනෙක් ආදරෙයි.නහයෙන් අඩන,මර ලතෝනි තියන,ආදරය වෙනුවට අසහනය ගායනා කරන නොමේරූ පරම්පරාවක් අතරින් දියවන්නා කුමාරිය හැඩට වැඩට ගාම්භීරව පෙරට ඇවිත්.ඒ නිසාමද මන්දා අරගල භූමිය තුළත් ඇය වැඩි වැඩියෙන් කැපී පෙනුණා.සයිබර් අවකාශයේ ත් ඇය පිළිබදව නන් විධ කතා මණ්ඩප නිර්මාණය වුණා.ගොඩාක් දෙනෙක් ඇගේ අරුත් පසිඳින්නට උත්සාහ ගෙන තිබුණා.ඇතැම් විචාර ඇයට සාධාරණය ඉටු කොට තිබුනත්,සමහර විචාර නම් ඇගේ අසහාය ගාම්භීර්යය ට කිසිසේත්ම පෑහිලා තිබුනෙ නැහැ.

උදාහරණයක් විදියට දියවන්නා කුමාරියව කියවන්න ගන්න උත්සාහයේ දී ගොඩක් දෙනෙක් හිතල තිබුණ දෙයක් තමයි,රටට ඕන මලදානයක් වෙච්ච දෙන් කියල “අරගොල්ලො” නිදාගන්නවා යැයි කියන කාරණාව.ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත නෙවෙයි.අර්ධ ඇත්තක්.ඒ ගොල්ලො ජනතා ප්‍රශ්න නොතකා හරින එක හරි.ඒත් නිදි නෑ.නිදි නම් අවුරුදු හැත්තෑවක් තිස්සෙ මේ විදියට ගේම ගහන්න ඒ ගොල්ලන්ට බැහැ.ඒ ගොල්ල එයාලගෙ අර්බුදවලදි හරිම සංවේදියි.වහාම පිබිදෙන සුළුයි.(වරදවා වටහා ගන්න එපා,මේ කියන්නෙ, සීනි වැඩි නිසා හරි,තරබාරුකම නිසා හරි,ඩිමෙන්ෂියා හින්දා හරි,නාකිවෙලා නිසා හරි නින්ද යන එක ගැන නෙවෙයි.)

දියවන්නා කුමාරිය මේ කියන්නෙ ජනතාව නියෝජනය කළ යුතු ආයතනයක් විදියට ඔය කියන උත්තරීතර ගුබ්බෑයම මොනතරම් අසාර්ථක ද අකාර්යක්ෂම ද කියන කාරණාව.ටිකක් බරපතල දේශපාලන විද්‍යාවට අදාල වචනෙකින් කිව්වොත් “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අකර්මන්‍යබාවය” ගැනයි ඇය මේ කියන්නෙ.

ඊලගට වාමනයන් ගැන දියවන්නා කුමාරිය අපි ට කියන කතාව.වාමන රූපයක් ගත්තම බඩ මහතයි.තොල් එල්ලෙන සුළුයි.කුරුමිටියි.මෝඩ පාටයි.ඒක නිසා ගොඩාක් දෙනෙක් හිතනවා,වාමනයො කියන්නෙ අරගොල්ලන් ට කියලා.නෑ.මේ කියන්නෙ ඒ ගොල්ලො ගැන නෙවෙයි.මතුපිට පෙනුම අමතක කරලා අපි ඇතුලාන්තයේ යම් හරයක් වේ නම්,අන්න එය විමසමු.

වාමනයො ගොඩාක් වෙලාවට කරන්නෙ නිධානය රකින එක.එහෙම නැත්නම් තමන්ගෙ කුරුමිටි ශරීරවලින් යෝධ ගොඩනැගිලිවල බර උසුලන එක.අර ගොල්ලො නිධන් රකිනවද?නෑනෙ.පුලුවන් නම් නිධානෙ ගිලීවි.අර ගොල්ලො බර උහුලනවද?නෑනෙ.ඒ ගොල්ලන්ගෙ බරත් අපේ කර පිට.ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි වර්ණිත මේ භාග්‍යවන්ත දූපත,චිරාත් කාලයක් තිස්සේ,නිධානයක් සේ රැක බලා ගත්තෙ ජනතාව.වැඩකරන ජනතාව.රුවන්වැලි සෑයේ ඉදලා කලා වැවට යනකල්,කලාවැවේ ඉදලා සීගිරියට යන කල් මේ අනභිභවනීය ශිෂ්ඨාචාරය ගොඩ නැගුවෙ ජනතාව.බණ කතාවෙ තියෙන්නෙ නම්,වාමනයන් ට බර කර ගහන්න වෙන්නෙ පූරුවෙ කරුමෙට කියලා.ඒත් අපි දන්නවා සියල්ල කරුමෙට බැර කරන්න බෑ කියලා.මේ විදවමින් ඉන්නෙ අමන සමාජ ආර්ථික දේශපාලන තීන්දුවල ප්‍රතිවිපාක මිස කරුමය නම් නෙවෙයි.

දියවන්නා කුමාරිය ඒ ප්‍රශ්න එකින් එක අප හමුවට ඉදිරිපත් කරනවා.ඒ සියල්ල ගැන ලියන්න මෙතන ඉඩ මදි වුණත්,එක දෙයක් නම් නිසැකවම ලිවිය යුතුයි.

“හීන ගේන සීනි බෝල තක්ෂිලාව” කියලා රචකයා රූපණය කරන්නෙ මත් උවදුර පමණක් නම් නෙවෙයි.(ගොඩාක් සයිබර් විචාරවල මෙය කියවාගෙන තිබුනෙ එලෙසින්).අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය ගැන පොතක් ලියන්න පුලුවන් තරම් කරුණු කාරණා මේ වචන කීපයේ අන්තර්ගතයි.අධ්‍යාපන ක්‍රියාවලියෙන් අපේ දරුවන්ට හදල දෙන සමහර හීන මත් වතුරක් තරම් විෂයි.බිහිසුණුයි.ලෝකයට ආදරය කරන අව්‍යාජ මනුස්සයෙක් වෙනුවට,උන්නතිකාමයෙන් හැඩි වුණු ස්වාර්ථකාමී ජීවියෙකුයි අපි ඉස්කෝලෙන්,විශ්වවිද්‍යාලෙන් එළියට දාන්නෙ.

දියවන්නා කුමාරිය ස්ථානගත වෙන්නෙ විරෝධාකල්ප ගීත සාහිත්‍යය ඇතුලෙ විමුක්තිකාමී පරමාර්ථයකින්.ඒ වුණත් “දෙරණට වැටෙන සද පලුවක්” ගැන කියන්න ගිහින් ගීතය එක්තරා විදියක ජාතිවාදී ආස්ථානයකට ඇද වැටෙනවා.ඒක හරියට අසූව දශකයේ අග බාගයේ දී නන්දා මාලිනියට වුණු අකරතැබ්බය වගේ.මතකයි නේ ඇය ගායනා කලා මෙහෙම.

හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

එකල විමුක්තිකාමී ගී ගැයූ ඇය වැන්නියක් තුලින් පවා එබදු මතවාදී පීලි පැනීම් සිදු වුණා නම්,දියවන්නා
කුමාරිය ව කමා කරන්න බැරි කමක් අපි ට නැහැ.

මන්ද යත්,මා කලින් ලීවාක් මෙන්ම ඇය මෙලෙසින් පෙරට පැමිණියේ ඉතාම හරසුන් ඉතාම අවිචාරවත් ගීත කලාවක් අතරින් ඉතාම පරෙස්සමින් අඩිය තබමින් නිසා.අනාගතයේ දී ඇය වඩාත් නිවැරදි මාවතක,කිසිදු අත්වැරදීමකින් තොරව තම ගමන යනු ඇති බවට විශ්වාසයක් අපිට තියෙනවා.ඒ වෙනුවෙන් මිතුරු සුබ පැතුමක් පමණයි මේ සටහන.

නලින්ද සංජීව ලියනගේ