වර්තමාන රජයේත් රට බංකොලොත් කළ නායකයන්ගේත් අමනෝඥ තකතීරු ප්‍රතිපත්ති නිසා අප රටේ දශලක්ෂ ගණනින් දුප්පතුන් බවට පත්ව ඇති බවත් මේ රටේ දශලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කමින් තැලී පොඩිවී මිරිකී අසීමිත අසහනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

එබැවින් ජීවත් වීමේ මාර්ගයක් නොමැති, පැහැදිලි ජීවනෝපායක් ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා වේල් තුනවත් සපුරා ගත නොහැකි දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හා ගැමිදිරිය වැඩසටහන්වල හොඳ ගුණාංග එකතු කර අඩුපාඩු තුරන් කර නව දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සඳහා, පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන කරුණු කේන්ද්‍ර කර නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා මසකට රු.20000ක ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාස 24කින් දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 16 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් (26) කන්තලේ සේරුවිල නගරයේ දී පැවැත්වුණු අතර එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.