පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවති පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

එම පරාජිත දේශපාලන බලවේගවලට යටවූ විවිධ රජයේ ආයතන මෙහෙයවන පාරරාජ්‍යයක් ක්‍රියාත්මක වන බව ද කාදිනල් හිමි මෙහිදී පවසා ඇත.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය නීතිය හමුවට ඉතා ඉක්මනින් ගෙන්වනු ඇතැයි තම ඒකායන බලාපොරොත්තුව බව පැවසු කාදිනල් හිමිපාණන්, ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කර ඇත.

එම ඉල්ලිම් වන්නේ,

1. පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම.

2. පාස්කු වැඩිදුර වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම.

3. ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම.

4. 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම.

5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම.

6. පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය.

7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම.