‘අද දෙරණ” හිමිකාරීත්වය දරන පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලක් අනුව SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව අද (08) කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

YouTube අවකාශය තුළ පවත්වන SLVlog Pod Talks නමැති වැඩසටහනේදී හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

ආගමික අපහාසයක් සිදු කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය හට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් SLVlog Pod Talks නමැති වැඩසටහනේදී හසලක තුෂාර සංජීව දෙරණ නාලිකාව දැඩිව විවේචනය කර ති​බේ

ඒ අනුව අදාළ වැඩසටහනේදී දෙරණ නාලිකාව යනු ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත, චාටර්, ලැජ්ජා නැති චොර මාධ්‍ය නාලිකාවක් වශයෙන් හදුන්වා ඇති බව හසලක තුෂාර මහතා වෙත යැවූ එන්තරවාසියේ සදහන් වේ.

මේ නිසා අද දෙරණට අපහාස කිරීමට සහ අපහාස වන අයුරින් දිගින් දිගටම ප්‍රකාශයන් හෝ ප්‍රචාරයන්, වැඩසටහන්, කරුණු ඉදිරිපත් කිරීම කරගෙන යෑමට විත්තිකරුට අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.