ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබුණු ලිංගික අපයෝජන චෝදනාවට ඔහු වරදකරු නොවන බවට තීන්දු කර තිබේ.

අද (සැප්. 28) සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, ලිංගික සංසර්ගය අතරතුර උපත් පාලන කොපුවක් ඉවත් කිරීමට තරම් “අවස්ථාවක් ඔහුට නොතිබුණු බවට” සාක්ෂි අනුව සනාථ වන බව ත් ඔහු පොලිසිය වෙත ලබා දුන්න ප්‍රකාශය අසත්‍ය නොවන බව ත් ය.

පසුගිය වසරේ පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේදී ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, සිඩ්නි පොලිසිය 2022 වසරේ නොවැම්බර් මස 6 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත්තේ ය.

ඔහු සිඩ්නිහි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටියේ ය.

පසුව, දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවේ, 2022 නොවැම්බර් මස 17 වන දා ය.