රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට මාස 6ක් සඳහා රු:300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අභිතර බලපෑමට පිළියම් යෙදීම​ට 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැත.

ඒ අනුව ධිවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාලයක් සඳහා සහනයන් ලබා දීම සඳහා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයක් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250/- ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150/- කට ද යටත්ව, උපරිම මාස 06 ක කාලයක් දක්වා ඩිසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5%ක සහනයක් ද ධිවර ජනතාව හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වාගෙන යනු ලබයි.