එළැඹෙන උත්සව සමය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවය.

මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බව නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර ඇත.

මේ අතර, එළැඹෙන උත්සව සමය සඳහා හෙට (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිට ව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

ඒ අනුව හෙට සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කරයි.