විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කර ඇත.

නේවාසිකාගාරවල සිදුවන නවක වද සිදුවීම් වැළැක්වීම එහි අරමුණ බව අමාත්‍යවරයා පවසා තිබේ.

නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අලුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් ලබා දෙන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මේ තීරණය ගත් බව ඔහු සඳහන් කර ඇත.

ඒ සඳහා විශ්වවිද්‍යාල විනායාරක්ෂක නිලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයින් යොදවන බවත් ඔවුන්ට අවශ්‍ය ගමන් කථන හා වාහන ලබා දෙන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා ජාතික කමිටුවක් ද මේ වනවිට පත් කර තිබේ.

නවක වද සිද්ධි පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ද පැමිණිලි ලැබෙමින් තිබෙන බවත්, ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.