ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්‍ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ නම් කිරීමට තීරණය කළ බව පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 350,429ක් ලැබී තිබුණු අතර ජයග්‍රහණය කරනු ලැබූ මන්ත්‍රී ආසන දෙකට අමතරව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයක් හිමි විය.

මේ අතර, සර්ව ජන බලය පක්ෂයට මහ මැතිවරණයේදී හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය එම පක්ෂයේ නායක දිලිත් ජයවීරට ලබා දීමට තීරණය කළ බව එහි මහ ලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (නොවැ. 17) දැනුම් දී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ දිලිත් ජයවීරට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ලබා දීමට පක්ෂයේ විධායක කමිටුව ඒකමතිකව තීන්දු කළ බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්ව ජන බලය පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය හිමි විය.

මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් දෙක අද දින මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.