ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව සඳහන් කරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි.