එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නැව් අනතුරු පිලිබදව අදහස් හා යෝජනා කිහිපයක් දක්වමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලිපියක් ඉදිරිපත් කර ඇත.

මෙම අදහස් සහ යෝජනාවලිය පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ලබා දී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නැව්වලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් පිළිගත් ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථාන, IMO සහ CBD වෙතින් වාර්තා කැඳවිය යුතු බවත් එම වාර්තා පදනම් කරගෙන පරිසරයට සිදු වූ හානියට අදාළ මුදල අය කර ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතු බව එහි දැක්වේ.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය කිසියම් තනි පුද්ගලයකු විසින් ලබාගෙන ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබුණ අතර එසේ නම් එම පුද්ගලයා පිළිබඳව මහජනතාවට හෙළි කළ යුතු බවද එම ලිපියේ සදහන් කර ඇත.

මේ නැව්වලින් කරන විනාශය තවම නිශ්චිතවම නතර වී නොමැති අතර ඒවා මුහුදු වෙරළට විටින් විට බලපෑම් එල්ල කරන අතර බැවින් එම හානි සම්බන්ධයෙන් නිසි දිගුකාලීන පර්යේෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවද එහි පෙන්වා දී ඇත.

මෙම නැව් වලින් සිදුවූ හා ඉදිරියටත් සිදුවන හානි සඳහා තක්සේරු කළ හැකි උපරිම වන්දිය ලබාගත යුතු බවත් පරිසරයට හා සමාජයට සිදුවන හානි වැළැක්වීම සඳහා එම වන්දි මුදල විනිවිදභාවයෙන් යුතුව භාවිත කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් එහි යෝජනාවක් ලෙස සදහන් වේ.

වෙරළේ එකතු වන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු අතර, එම ප්ලාස්ටික් නිසා ගැඹුරු මුහුදේ ශාක හෝ සත්ත්ව විශේෂවලට සිදුවන හානිය සම්බන්ධයෙන් ගැඹුරින් පර්යේක්ෂණයක් සිදු කළ යුතු අතර එහි ප්‍රතිඵල සහිත නිවැරදි තොරතුරු දේශීය වශයෙන් හා ජ්‍යාත්‍යන්තරව පිළිගත හැකි විද්‍යාත්මක පදනමකින් ඉදිරිපත් කළ යුතු අතර රටේ අනාගත පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවේදී මෙම අදහස් හා යෝජනා සලකා බලන ලෙස පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉල්ලීමක් කර ඇත.