තුන් හැවිරිදි නිවුන් දරුවන් ඇතුළු තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකු හමාස් සංවිධානය විසින් ඊයේ (27) රාත්‍රියේ නිදහස් කර ඇති බව ඊශ්‍රායලය පවසයි.

ඒ අනුව මුදා හරින ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 50 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් වෙනුවට, පලස්තීනුවන් 33 දෙනෙකු ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කර ඇති බවද සඳහන් වේ.

වාර්තාවල දැක්වෙන පරිදි එලෙස නිදහස් කර ඇත්තේ ළමුන් 30 ක් සහ කාන්තාවන් තිදෙනෙක්ය.

දින හතරක සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර කටාරය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ හමාස් දෙදින දීර්ඝ කිරීමට එකඟ වී ඇති බවය.

කෙසේවෙතත් ඉදිරි දින දෙක තුළ තවත් කාන්තාවන් සහ ළමුන් 20 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කැපවී සිටින බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පවසා ඇත.

ආධාර සංවිධාන විසින් බෙදා හරින ලද ආහාර, ඉන්ධන සහ ඖෂධ සමග ඊයේ (27) දිනයේ තවත් මානුෂීය සැපයුම් ලොරි ප්‍රමාණයක් ගාසා තීරයට ඇතුළු වී ඇති බවයි වාර්තා වේ.

ඔක්තෝබර් 7 වැනිදා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනිණි.

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.