නිපා වයිරසය පැතිර යාම හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට වයිරසය වැලඳී ඇති පුද්ගල සංඛ්‍යාව 5ක් වන අතර ඉන්  දරුවකු ඇතුළු තිදෙනකු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් සිටින බව සඳහන් වේ.

එමෙන්ම  දෙදෙනෙක් ජීවිතක්ෂයට ද  පත්ව ඇත.

මෙම වයිරසය පැතිර යාම නිසා කේරළයේ කොස්කොඩ් නම් ප්‍රදේශයේ සියළුම අධ්‍යාපන ආයතන ලබන 24 දින දක්වා වසා දමා ඇතැයිද සඳහන් වේ.

ඊට පාසල්, වෘත්තීය විද්‍යාල සහ උපකාරක මධ්‍යස්ථාන ඇතුළත්ය.

එමෙන්ම මේ වන විට  1,110 දෙනෙකු නිරෝදායනය කර ඇති අතර  ඉන් 327 දෙනෙකු සෞඛ්‍ය සේවකයින් බව ද වාර්තා වේ.

2018 වසරේ  සිට මේ දක්වා ඉන්දියාවේ නිපා වයිරසය ව්‍යාප්ත වූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර, පවතින තත්ත්වය මත නිරෝධායන නීතිරීති දැඩි කිරීමට කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

නිපා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ  ඉදිරි දින 10 දී මහජන ඒකරාශීවීම්වලින් වළකින ලෙස කේරළ ප්‍රාන්තයේ මහඇමැති පිනරායි විජයන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

නිපා වයිරසය ආසාදනය වීමෙන් ඇතිවන මරණ අනුපාතය 40-75% ක් බව  ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

මෙය ආසාදනය වීමෙන් පසු මොලයේ සෛල විනාශ වීමට පටන් ගන්නා අතර කෝමා තත්ත්වයට පත් වීමෙන් මියයා පසු හැකි  බවද සඳහන් වේ.

සතුන්ගෙන් මිනිසුන්ට හෝ මිනිසුන් අතරට සම්ප්‍රේෂණය වන බවත් දැනට ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති බව ද වාර්තා වේ.

වෛරසයේ සජීවි කාලය පැය 24 ත් 48 ත් අතර කාලයක් බව දැනට හඳුනා ගෙන ඇත.