සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය තීරණය කර ඇති නමුත්, තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසා ඇත.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බව එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කර තිබේ.

කෙසේවෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා සඳහන් කර ඇත්තේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවය.

ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා විසින් සහතික වී ඇති බවත් තැපැල්පතිවරයා සඳහන් කර ඇත.