අද (1) කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු විභාගයක් සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත්කර තිබේ.

වගඋත්තරකාර නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත්කොට තිබියදී, ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.

නඩු විභාගයේදී වගඋත්තරකරු අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති අතර​ ඒ අනුව මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම්දී ඇත්තේ, මෙම විත්තිකරු නීතිඥ ආචාරධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු අදාළ චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම සහ ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නීතිඥභාවය වසර පහක කාලයක් අත්හිටුවීමට පියවර ගන්නා බව විනිසුරු මඩුල්ල දැනුම්දී ඇත.