නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 03ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ, අදාළ ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ලබාදෙන කැමැත්ත මත එහි තැපැල් කාර්යාලය පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන බවය.

ජනවාරි මාසය තුළ දැනට තැපැල් කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදීමට සැලසුම් කර ඇති බව ද නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත.

යටත්විජිත යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව පසුගිය කාලයේ තැපැල් සේවකයින් වැඩවර්ජන කිහිපයක් ක්‍රියාත්මක කළ අතර බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත.