දකුණු ආසියාවේ පළමු කැරකෙන අවහන්හල කොළඹ නෙළුම් කුළුණ මුදුනේදී එළබෙන 9දා සිට පාරිභෝගිකයන් සඳහා විවෘත කරන බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසා ඇත.

කැරකෙන අවන්හලේ භෝජන ලබා ගැනීමට දුරකථන ඇමැතුමක් හරහා දින වෙන් කර ගත හැකි බව ත් පෙරවරු 11.30 සිට 3.30 දක්වා දිවා ආහාරය සහ 6.30න් පසු රාත්‍රී ආහාර ලබා ගැනීමට මේ අනුව අවස්ථාව සැලසෙන බවත් එම සමාගම සඳහන් කර තිබේ.

ඉදිරියේදී විවාහ මංගල උත්සව සඳහා ද මෙම පරිශ්‍රය ලබා දීමේ වැඩසටහනක් සකස් කිරීමට නියමිත අතර නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම සහ සිට්‍රස් සමාගම පිළිවෙළින් 80% හා 20%ක් වශයෙන් ලාභාංශ බෙදී යන අයුරින් හවුල් ව්‍යාපාරයක් වශයෙන් එහි කටයුතු සිදු වේ.

විදෙස් සංචාරකයන් 38,597ක පිරිසක් සහ දේශීය සංචාරකයන් 13,50,000ක් පමණ මේ දක්වා නෙළුම් කුලුනට පැමිණ ඇතැයි ද කැසිනෝ සහ කුලුන සිට පහතට පැනීමේ ඉසව්වක් දෙස් විදෙස් සංචාරකයන්ට හඳුන්වා දීමට නියමිත යැයි ද නෙළුම් කුළුණ සමාගම ප්‍රකාශ කර ඇත.

ගොඩනැගිලි සහිත භූමියක සිට පහතට පැනීමට හැකියාව ඇති ලෝකයේ උස ම ස්ථානය බැවින් ත්‍රාසජනක අත්දැකීම් ලැබීමට කැමැති විදෙස් සංචාරකයන් ආකර්ෂණය කිරීමට සූදානම් කරන අතර බේරේ වැව සමග ඒකාබද්ධ කොට ජල ක්‍රීඩා කරන නව සංචාරක කලාපයක් මේ අනුව විවෘත කරන බව ද වාර්තා වේ.

කැරකෙන අවන්හල 200 දෙනෙකුට පමණ ඉඩ පහසුකම් සපයන අතර මේ දක්වා විනෝදාස්වාද ව්‍යාපෘති 76ක් සහ CSR ව්‍යාපෘති 4ක් ද කර ඇති අතර රුපියල් මිලියන 1125.9ක සමස්ත ආදායමක් මේ දක්වා ලබා ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ ඊයේ (6) පැවැති අතර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආර්ථිකය දියුණු කිරීමේ ප්‍රතිපත්තිය ආයෝජනවල දියුණුවට හේතු වී ඇති බව ද ඇතැම් අය සුදු අලියෙකු ලෙස හැඳින්වූ නෙළුම් කුලුන වැනි ව්‍යාපෘති ලාභ ලබන බව ද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කර තිබේ.