පර්යේෂණ වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ නැව් සඳහා මාස 12ක කාලයක් යන තුරු මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (19) පවසා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබ ඇති මෙම ප්‍රතිපත්ති තීන්දුව සම්බන්ධයෙන් විදේශ රටවල් දැනුවත් කර ඇති බව ද විදේශ අමාත්‍යංශය පවසයි.

‘යුවාන් 6’ චීන නැවට පසුව ලබන වසරේ ජනවාරි මාසයේ නැවත වරක් චීන පර්යේෂණ නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදනම් වූ අවධියක රජය විසින් මෙම තීන්දුව ගනු ලැබ තිබේ.

මේ අනුව පර්යේෂණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට විදෙස් නැව් පැමිණීම මාස 12ක කාලයකට අත්හිටුවා ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ මුහුදු සීමා පසුකරන විදෙස් යුද්ධ නැව් සහ ගුවන් යානා වෙනුවෙන් සම්මත මෙහෙයුම් ක්‍රියාවලිය හඳුන්වා දෙන බව ද පසුගිය වසර දහයේදී මෙරටට නැව් පැමිණි රටවලට නව මෙහෙයුම් ක්‍රියාවලියේ මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කර ඇතැයි ද අමාත්‍යංශය සඳහන් කර ඇත.

කිසියම් පර්යේෂණ කටයුත්තක් සිදුවේ නම් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ද සමාන හවුල්කරුවන් වී සහභාගී විය හැකි බැවින් රටක් ලෙස ඊට අවශ්‍ය ධාරිතාව ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බව ද අමාත්‍යංශය පවසා තිබේ.