ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක් ම ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්‍ෂාවේදී සනාථ වී ඇත.

එම ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දර්ශන රත්නායක සඳහන් කර තිබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 8400ක් ප්‍රමිතියෙන් යුතු බවට දෙවතාවක් සිදුකළ රසායනාගාර පරීක්‍ෂාවකින් තහවුරු වීමත් සමග එම ඩීසල් තොගය පමණක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය වෙත ගොඩබෑ බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

කොළඹ වරායට ඉකුත් 5 වන දා එම්.ටී. ෆොස් පවර් නමැති මෙම නෞකාව සේන්දු වූ අතර එහි පෙට්‍රල් සහ ඩීසල් තොග බහා තිබිණි.

ප්‍රමිතිය පරීක්‍ෂාවෙන් පසු මීට පෙර එහි තිබූ ඔක්ටේන් 92 පෙට්‍රල් ගොඩබෑමට අවසර දුන් අතර ඩීසල් තොගයේ පරීක්‍ෂණ කටයුතු අවසන් නොවූ හෙයින් එම ඩීසල් තොග ගොඩනොබෑමට තීරණය කරනු ලැබීය.

පසුව මෙලෙස ඩීසල් තොගයේ රසායනාගාර පරීක්‍ෂාව සිදුකොට අවසන් කර ඇත.