හින්දි සිනමාවේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස සැලකෙන නිතින් චන්ද්‍රකාන්ත් දේසායි මහතා අද පෙරවරුවේ සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. මීට හෝරා කිහිපයකට පෙර ඔහුගේ මල සිරුර හමු වී තිබෙන්නේ, කර්ජත් හි පිහිටි ඔහුට අයත් ND Studios හි තිබියදී.
Hum Dil De Chuke Sanam (1999), Lagaan (2001), Devdas (2002), Jodhaa Akbar (2008) සහ Prem Ratan Dhan Payo (2015) වැනි දැවැන්ත චිත්‍රපට මෙන්ම තවත් චිත්‍රපට හා ටෙලි නිර්මාණ රාශියක කලා අධ්‍යක්ෂකවරයා වන නිතින් මහතා, හින්දි සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් රාශියක් සමග කටයුතු කර තිබෙනවා.

නිතින් චන්ද්‍රකාන්ත් මහතා යනු හොඳම කලා අධ්‍යක්ශණයට හිමි ඉන්දීය ජාතික සම්මානය සිව් වරක් හිමිකරගෙන ඇති විශිෂ්ඨයෙක් . ඒ Dr. Babasaheb Ambedkar, Hum Dil De Chuke Sanam, Lagaan සහ Devdas යන චිත්‍රපට වෙනුවෙන්. එමෙන්ම අවස්ථා ගණනාවකදීම Filmfare, IIFA, Screen Awards වැනි සම්මාන උළෙල රාශියකදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඔහු විසින් ජයග්‍රහණය කර තිබෙනවා.
මෙම ප්‍රවීණ කලා අධ්‍යක්ෂකවරයාගේ සිය දිවි නසා ගැනීමට හේතු කිසිවක් නිල වශයෙන් තහවුරු කර නොමැති නමුත්, පසුගිය කාල සීමාවේදී ඔහු දැඩි ආර්ථික ගැටළුවලට මුහුණ දෙමින් සිටි බවයි ඔහුගේ සමීපතමයන් ප්‍රකාශ කර තිබුණේ. මීළඟ උපන්දිනයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, නිතින් මහතා මිය යන විට ඔහු 57 වන වියේ පසුවුණා.