කැමති වුනත්,අකැමැති වුනත් අප ගේ යුගයේ බොහෝ ආදර සබඳතා පැහැදිලිවම යුග දෙකකට බෙදන්න පුලුවන්.එකක් තමයි විවාහයට පෙර යුගය.අනික විවාහයට පසු යුගය.විවාහය ට පෙර යුගය සමහරු හදුන්වන්න පුරුදු වෙලා ඉන්නෙ “අපි ආදරේ කරපු කාලෙ” කියලා.එතකොට නිරායාසයෙන් ම වගේ පැන නැගෙන ගැටලුව තමයි,විවාහයට පසු යුගය කියන්නෙ ආදරය සිඳුණු යුගයක් ද කියන කාරණාව?
බොහෝ දෙනෙකු ගෙ ආශ්වාදජනක ආවර්ජනා රැදිලා තියෙන්නෙ විවාහයට පෙර යුගයේ.මඳ අදුරෙ තුරුළු වෙලා චිත්‍රපට නරඹපුවා,අතින් අත අල්ලගෙන මුහුදු වෙරළෙ ඇවිදපුවා,සිකියුරිටි මහත්තුරුන් ගෙ ඇණුම් බැණුම් විද විද මල් උයන් ගානෙ පෙම් බස් මුමුණපුවා,මැසේජ් එකක් එනකල් phone එකත් අතේ තියාගෙන අහසෙ තරු ගණන් කරපුවා,කොහේ හරි යන බස් එකක නැගලා ඔහේ රස්තියාදු ගහපුවා වගේ ගොඩාක් මිහිරියාවන් අයිති වෙන්නෙ අතීතයට.ඒ ගැන අතීතාවර්ජනය ක දි පවා මුහුණින් පලවෙන්නෙ සියුම් සන්තාපයක්.සියුම් පශ්චාත්තාපයක්.හරියට විවාහ නොවී හැමදාම එහෙම හිටිය නම් හොදයි වගේ.
ඒ කාලෙ නම් අද දැකලා,ආයෙ ඊලග දවසෙ දකිනකල් ඉවසුම් නැහැ.පාළුයි.සාංකාව වගේ.ඒත් දැන් දෙන්නා එකිනෙකා අසලමයි.එක වහලක් යට.ඉතින් එහෙම වුනාම ජීවිතේ උද්‍යානයක් තරම් ප්‍රබෝධමත් වෙන්න ඕන නේ.වස්දඩුරාවයක් තරම් මිහිරි වෙන්න ඕන නේ.ඒත් ගොඩාක් දෙනෙක් ආදරයේ ආවර්ජනා තරම් ආශ්වාදයකින් විවාහයේ දවස් සමරන්නෙ නැහැ.මේක ඛේදවාචකයක්.මේ ඛේදවාචකය ඉතාමත් කාව්යා්ත්මක ව නිරූපනය කළ මොහොතක් ලෙසයි දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ මේ ගීය මට දැනෙන්නෙ.
අපි ගීතයේ අවසානයෙන් පටන් ගමු.
එදා මල් වරුසාවමයි-මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා-එක කුඩය ඇයි මදි වුනේ
ආදරේ කරන දිනවලදි වර්ෂාව පවා ආශිර්වාදයක්.මොකද,දෙනෝදාහක් මැද තුරුළු වෙමින් යන්න වර්ෂාව විසින් සාධාරණ හේතුවක් සපයනව නේ.බොහෝ පෙම්වතුන්ට පෙම්වතියන්ට රහසිගත ප්‍රාර්ථනාවක් ඇති “අනේ අද වහින්න” කියලා.
මේ ගීතය රචනා කරන්නෙ සීතා රංජනී මහත්මිය.ඇය තෝරාගන්නා නිමිත්ත කවියක් තරම් සියුම්.
ඇද වැටෙමින් තිබෙන්නෙ පොද වරුෂාවක්.පොද වැස්සකට නේ අපි මල් වැස්සක් කියන්නෙ.ඒත් ස්වාමිපුරුෂයා මුවාවක් සොයනවා නො තෙමී ඉන්න.මේක දකින බිරිද තැවුලට පත් වෙනවා.”චුට්ටක් තෙමුනම මොකද අනේ,බලන්නකො චිත්‍රපටිවල වුනත් ආදරවන්තයො කොච්චර තෙමෙනවද වැස්සට.සමහරු තෙමි තෙමි අයිස්ක්‍රීමුත් කනවා” ඇය ට මේ විදියට හිතෙන්න බැරි ද?පුලුවන්.ආදරයේ රොමෑන්තික කලාපය ඇය ගේ අධ්‍යාත්මය තුළ තවමත් ඉතිරියි.ඒත් ස්වාමිපුරුෂයා?හිතාගන්නවත් බැරි තරම් වේගයෙන් ඔහු කෙරෙන් ආදරය වාෂ්ප වෙමින් ගිහින්.ඔහු වියළියි.ඔහු තුල තවදුරටත් රොමෑන්තික සිතැඟියාවන්ට ඉඩ නැහැ.නරකම දේ,තමන් වියැලෙමින් ඉන්න බවවත් ඔහු දන්නෙ නැහැ.එක්කො ඔහුට ගානක් නැහැ.
මේ ඛේදවාචකය දැනෙන්නෙ බිරිදට.ඊට සංවේදී ඇය.
ඇය ඔහු ට සිහිපත් කර දෙනවා,ආදරේ ට අයිති වුණු අර ඉපැරණි යුගය ගැන.ඉපැරණි දවස් ගැන.අහිමිව ගිය චමත්කාරයේ අතීත මොහොතට ඇය ලෝබයි.ඒ ලෝබකම ඔහුටත් බෝ කරන්නයි ඇයට දැන් උවමනා.
ජීවිතේ දෝතින් දරා-එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ සීතලෙන් අවදිව-ජීවිතේමයි හිනැහුණේ
එදා තිබුණු චමත්කාරය අද කෝ?එදා තිබුණු පෙම්වත් සුගන්ධය අද කෝ?අනුරාගය සංසිඳුණට පස්සෙ ආදරය අහෝසි වෙනව ද?ශරීර පිළිබද ශෘංගාරාත්මක කුතුහලය ඉවර වුනා ට පස්සෙ ආදරයත් නිවෙනවද?එහෙමත් නැත්නම් ජීවන කම්කටොළු නැමැති සැඩ ප්රවාහයට හසු වෙලා සියුම් ඉසියුම් හැගීම් ධාරා ගහ ගෙන ගිහිල්ල ද?ගෙවල් කුළිය ගැන,ලයිට් බිල ගැන,වතුර බිල ගැන,බඩු මිල ගැන,දරුවන් ගෙ දහසකුත් එකක් රාජකාරි ගැන බැරෑරුම් වෙන්න ගත්තම ආදරේ කියන්නෙ සුකිරි බටිල්ලන් ගෙ සීනි බෝලයක් වගේ පේන්න ගන්නවද?
මොනවා වුණත් මේ සිද්ද වෙමින් තිබෙන ඛේදවාචකය ට ජීවිතය යැයි කියා කිව යුතු නැති බව බිරිද දන්නවා.ඛේදවාචක සාමාන්‍යකරණය වීම භයානකයි.මෙහෙම නිසරු මාවතක ජීවිතය ගලා ගෙන යාම ගැන ඇයට කොහෙත්ම කැමැත්තක් නැහැ.
ඒ නිසා තමයි ඇය ඔහු ට නැවත නැවතත් මතක් කරන්නෙ මේ වහිමින් තිබෙන්නෙ මොන වගේ මල් වරුසාවක් ද කියලා.
මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහලු නොවනා පෙම්වතුන් ගේ
සොදුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
ප්‍රේමයට අයිතියක් නැහැ මහලු වෙන්න.ඊට උරුම සදාකාලික තාරුණ්‍යය.එහෙත් අපගේ යුගයේ දී ප්‍රේමය මහලු වෙමින් තිබෙනවා.උවමනාවටත් වඩා කලින්.අකලට.එහෙම වෙන්නෙ තනි තනි පෙම්වතුන් ගෙ හුදෙකලා දුබලතා නිසාම නෙවෙයි කියලා මට හිතෙනවා.ආදරයට වඩා සුසංවේදී අයුරින් පවතින්න පුලුවන් සමාජයක නෙවෙයි අපි ජීවත් වෙන්නෙ.ඒ ගැන ලිව්වොත් ඒක සමාජ විද්‍යාව ගැන පාඩමක් වෙයි.
ඒත් කමක් නෑ,ටිකක් හිතන්න.මල් වරුසාවක සොදුරු බව උදුර ගන්න අදුරු සමාජ කොන්දේසි අදුර ගෙන ඉන්න එක වටිනවා.ඒවා අදුනගන්න පුලුවන් වෙන තරමට ප්‍රේමය ට ප්‍රේමය විදියටම පවතින්න පුලුවන් සමාජයක් අපිට නිර්මාණය කරගන්න පුලුවන්.
නලින්ද සංජීව ලියනගේ