සිය ධුර කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සහ දුරස්ථ සංචාරය ආරම්භ කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණ තිබෙනවා.

දින 12 ක මෙම සංචාරයේදී පාප්තුමන් විසින් පාරිසරික ගැටළු සහ අන්තර් ආගමික සංවාදයේ වැදගත්කම ඉස්මතු කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

ඒ අනුව අනෙකුත් සංචාරයන් පැපුවා නිව්ගිනියාව, සිංගප්පූරුව සහ ටිමෝර් රාජ්‍ය වෙත යාමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාප්තුමන්ගේ සංචාරය පිළිබඳව සඳහන් කරමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසයේදී 88 වන වියට පා තබන එතුමන් හට මෙම ගමන අභියෝගාත්මක ගමනක් වන බවයි.

පාප් වහන්සේ ඉන්දුනීසියාව තුළ රැඳෙන කාලයේදී අගනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලියට ගොස්, ඉවත්ව යන ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හමුවීමට සහ 70,000 ක පමණ ජනතාවක් සඳහා දිව්‍ය පූජාවක් පැවැත්වීමට නියමිත බවත් සඳහන්.