පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවයි.

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් අදාළ පෙත්සමෙන් පෙන්වා දේ.

ඒ අනුව නාම යෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වන දා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් ය.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දෙන අතර මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් ඵලක් අත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මේ තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එසේම අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම් එවැනි නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටියි.