පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු තම නිල X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු එම සටහන මඟින් අවධාරණය කර ඇත්තේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථාන ගත වී ඇති බවට පළවන වාර්තා සත්‍ය නම්, රජය විසින් වහාම පරීක්ෂණයක් පවත්වා එය සොයා ගෙන පොදු ජනතාව වෙත මුදාහැරිය යුතු බවයි.

කෙසේවෙතත්, පසුගියදා (01) ප්‍රකාශයක් සිදු කරමින් කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති බවයි.