පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වේ.

රජය සඳහන් කළේ, පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සැලසුම් කර ඇති බව යි.

ඒ තුලින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි, ගිහි ශිෂ්‍යයන් ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට, විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමට හැකි වන බව රජය පවසයි.

ඒ අනුව, එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙලෙස කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මෙලෙ​ස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.