“අපි දෙන්නා හරියට අහසයි පොළොවයි වගේ”

“අපි දෙන්නා හරියට රේල් පීලි දෙකක් වගේ

 

මේ උපමා යුවළ ඇතුළෙ තියෙන්නෙ ඔවුනොවුන් කවදාවත් එකතු නොවන වගට සහතිකයක්. ඒ වගේ ආදර කතාවක් ගැන ලියන්න ඕනෙ වුණාම ගොඩක් නිර්මාණකරුවන්ට ඔය උපමා යුවළ මඟහරින්න හරිම අසීරුයි. ඒත් සමහර නිර්මාණකරුවො ඉන්නවා, එකම කතාව කියන්න අලුත් අලුත් රූපක සොයාගෙන යන. ඒ රූපකවල ප්‍රබලත්වය දකින අපි සැබැවින්ම විශ්මයට පත් වෙනවා. මේ ප්‍රතිභාව නම් දෙයියොම දීපු එකක් වෙන්නැති කියල හිතන්න අපිත් පෙළඹෙනවා.

අන්න ඒ වගේ ප්‍රතිභාන්විත ගීත රචකයෙක් තමයි රත්න ශ්‍රී විජේසිංහ. යල් පැන ගිය කල් ඉකුත් වූ උපමා වෙනුවට ඔහු අලුත්ම රූපක සොයාගන්නවා. අපි දහස් වතාවක් අහල තියෙන කතාවක් ගැන තමයි එතුමා එක්දහස් එක්වෙනි වතාවටත් කියන්නෙ. ඒත් අර සොයාගන්න රූපක කලාත්මක බවින් මොනතරම් ආශ්වාදජනක ද කියනව නම් අපි අහගෙන ඉන්නෙ අලුත්ම කතාවක් අහනව වගේ ආශාවකින්. වෙන විදියකට කිව්වොත් සාහිත්‍යයේ දී ‘අපූර්වත්වය’ කියන්නෙ ඔන්න ඔය ගුණයටම තමයි.

සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුල ගිරිහිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද?

නිකමට වගේ බදුලු නිම්නයේ භූ රූපණ සිතියම හිතල බැලුවත් අපට මේ ගීතයේ අරුත පසඳින්න පහසුයි. ඈතින් දුන්හිඳ. මෑතින් නමුණුකුල. අපි දන්නවා කවදාමහරි කල්පාවසානයක් එළඹෙන තෙක්ම මේ භූ රූපණ මෙලෙසින්ම පවතීවි. (මිනිස්සුන්ගෙ අඥාන ක්‍රියාකාරකම් නිසා දුන්හිඳ සිඳී නොගොසින්, නමුණුකුල නාය නොගියොත් ඇරෙන්න) හිතන්න, පෙම්වතෙකුට සහ පෙම්වතියකට නම් මේ විදියට ඉන්න සිද්ධ වුණේ, ඒක මොනතරම් ශාපයක් ද? මොනතරම් පාපයක්ද? තවදුරටත් අපේ හදවත පෙඟෙන්නෙ දුන්හිඳේ සිරිපොදටම නෙවෙයි. එබඳු ශාපයකත්, එබදු පාපයකත් සංකලනයෙන් උපන් විරහ සන්තාපයක් නිසා.

අනික් අතට මේ අලුත් රූපකය විසින් නියෝජනය කරන්නෙ මෙකී පෙම් යුවළගේ දුරස් බවේ ව්‍යසනය පමණක්ම නෙවෙයි. සේද සිහින සුදු දුන්හිඳ කියද්දි අතිශයින්ම රොමෑන්තික රුවැත්තියක් මගේ හිතේ මැවෙනවා. ඒ වගේමයි ‘උස සීත නමුණුකුළ ගිරිහිස’ කියද්දි මගේ හිතේ ඇඳෙන්නෙ පිරිමි පෞරුෂයක්. සියලු මනස්තාප අකම්පිතව දරා හිඳින නිසොල්මන් පිරිමි පෞරුෂයක්. ඇස්වල කඳුළු නැතත් ඔහුගෙ හදවත නමුණුකුල තරම් සීතලයි. පිරිමියෙක්ගෙ සන්තාපය එහෙමයි. පිරිමියෙක් අඬන්නෙ එහෙමයි.

නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරු දෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද ජීවිත පියගැටපෙළ?

තවත් අලුත් රූපක. මළ හිරුටයි, නිල් තරු එළියටයි එකම අහසක ඉන්න ඉඩ නෑ. ඉඳහිටක හිටියත් ඒ ඇසිල්ලකට විතරයි. ඒ තමයි සොබාදහමේ නීතිය. ඒත් ඉර බැහැගෙන යන්නෙ ආයෙත් හැන්දෑවක ඒ නීල නුවන් තරු එළිය දකින ශෝකී අපේක්ෂාවෙන්. අන්න ඒ ඉරමඬල වගෙයි මේ කතාවෙ පෙම්වතාත්. ජීවිතේ පඩිපෙළ බහින්නෙ ඇයගෙ අතකින්වක් නො අල්ලා. සුවඳවත් නොලබා. ඇස් අගින් කඩා හැලෙන තාරකාවක කාන්තිය විතරක් තනි නොතනියට තියාගෙන.

මාලිගාව ළඟ පය පාමුල
සුදු නෙළුමද මම සඳකඩපහණක
නාද නගන සඳ සඳළුව මත
ඉමි පාද සළඹ ගීයට පෙම් බැද

ගීතයේ මේ කොටස ඉතාම තීරණාත්මකයි. මෙතනට එනකල් අපි දන්නෙ දුරස් වෙන්නට බල කරන ලද පෙම් යුවළකගෙ සදාතනික ශෝකාන්තය විතරයි. ඒත් මෙතැනදි අපට ඉඟියක් ලැබෙනවා, ඇයි ඔවුන්ට දුරස් වෙන්න සිද්ධ වුණේ කියලා. වෙනත් විදියකට කියනව නම් මෙතනදි තමයි රචකයා ගීතයේ සුළලිත වචන පොකුර අතරට කටුක සමාජ යථාර්ථය කැඳවාගෙන එන්නෙ. හැබැයි ඔහු ඒ කටුක බව රැගෙන එන්නෙ ගීතයෙ මෙතෙක් පැවැති මෘදු බවට අංශු මාත්‍රයක හානියක් නොකරමින්.

මාලිගාව ළඟ වුණත් සඳකඩපහනක් නම් අනිවාර්යයෙන්ම පෑගෙන්න නියමිතයි. මේ පෑගෙන්නෙ පෙම්වතෙකුගේ සුදු නෙළුමක් වගේ පිවිතුරු හදවත. නිර්මල සෙනෙහස.

ඉතිහාසයේ හැමදාමත් පෑගුණේ පීඩිතයෝ. දැන් අපට තේරුම් ගන්න පුළුවන් මේ ගීතයේ ඉන්න පෙම්වතාත් පීඩිත තරුණයෙක් බව. අවාසනාවකට ඔහුගේ හිත බැඳුණෙ සඳළුතලයකින් ඇහෙන පාද සළඹක නාදයට. සඳළුතලාවක නම් ඉන්නෙ ඇය ධනවත් යුවතියක්.

අපි කවදත් අහල පුරුදු, දුප්පත් කොල්ලගෙයි, පොහොසත් කෙල්ලගෙයි ආදර වෘත්තාන්තයම තමයි මේ. ඒත් බලන්න මොනතරම් ළගන්නා සුළු අයුරින් රත්න ශ්‍රී මේ කතාව අපට කියනවද කියලා. අහල පුරුදු කතාවක් වුණත් අපි අලුතින්ම කම්පනය වෙනවා. ප්‍රේමය ගැන වගේම ප්‍රේමයේ සුබ අසුබ බව තීන්දු කරන සමාජ කොන්දේසි ගැනත් හිතන්න ගන්නවා.

කලාවේ සෞන්දර්ය රීතින් අබැටක් තරම්වත් නො කෙළෙසා සමාජ අසාධාරණය ගැන කතා කරන්න හිතන පතන උදවිය මේ වගේ ගීත වැඩි වැඩියෙන් අහන්න ඕනෙ කියල තමයි මම නම් විශ්වාස කරන්නෙ.

නලින්ද සංජීව ලියනගේ