යාපනය, වීරමාකාලි අම්මාන් කෝවිලේ පඬුරු බෙදා ගැනීමට යාමේදී ඇති වූ බහින්බස්වීමක් මත එම කෝවිලේ පූසාරීවරුන් තිදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් පූසාරීවරුන් තිදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (22) යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගුටිබැට හුවමාරුව අතරතුර එක් පූසාරීවරයෙකුගේ සහෝදරයෙකු හා මාමා කෙනෙකුද පැමිණ අනෙක් පූසාරීවරු දෙදෙනාට පහර දී ඇති අතර එම අවස්ථාවේදී කෝවිලේ පූජාවකට සහභාගී වෙමින් සිටි බැතිමතුන් පිරිසක් එම ආරවුල හා ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

නමුත් එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මේ බව පොලිසියට දැනුම් දී ඇති අතර අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.