පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහල නැංවීම ඉලක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකසන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ මණ්ඩලය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය ඇතුළු සියලු අංශවල දායකත්වය මත ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙරට පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් තිබුනත් තවමත් මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් යොදා ගනු ලබන්නේ දේශීය පරිභෝජනය සඳහා බව අමාත්‍යාංශය පවසයි.

ඉතිරි සියයට 25ක ප්‍රමාණය අපනයනය කළ ද දේශීය වශයෙන් පොල් හිඟ වන අවස්ථාවන් හි දී අපනයන කටයුතු අඩාල වන බව අමාත්‍යාංශය කියයි.

ලංකාවේ වාර්ෂික නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000කට ආසන්නය.