ඊයේ (15) රාත්‍රියේ දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී මහ මග ගමන් කරමින් සිටි වනඅලියෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නමින් හඳුන්වන වනඅලියෙකි.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම වනඅලියාගෙන් කිසිඳු පුද්ගලයෙකුට කරදරයක් නොමැති බවයි.

බකමූණ පොලීසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලීසියේ ත්‍රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් T56 ගිනිඅවියකින් වනඅලියාට වෙඩිතබා ඇතැයි බකමූණ පොලීසිය පවසයි.

මෙම සිද්ධිය නිසා ඊයේ රාත්‍රී කාලයේදී ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හබරණ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා පැවසීය.