ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්‍ය මඟින් පළ කර ඇති පුවත් අසත්‍ය බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් පවසයි.

පොළොන්නරුව තිවංක පිළිම ගෙය තුළ ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට සංස්කෘතික අරමුදලේ මැදිහත්වීම ඇතිව මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කර බිතු සිතුවම් පිළිබඳ අධ්‍යයනය කර ඡායාරූප 1140 කට ආසන්න ප්‍රමාණයක් ගෙන එම සිතුවම් එකම තලයකට ගෙන සංරක්ෂණය කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද ඔහු සඳහන් කර ඇත.

එසේම තිවංක පිළිම ගෙයට සවි කර ඇති වහලය නැවත සකස් කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට පියවර ගෙන ඇති බවද හෙතෙම පවසයි.

වර්තමානය වන විට පොළොන්නරුව තිවංක පිළිමගය ඇතුළු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවත් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ප්‍රකාශ කළේය.

එමෙන්ම වයඹ පළාතේ හුනුපොළ කන්දේ විහාරයේ අනවසර කැණීම් කටයුතු සිදු කරමින් පවතින බවට මාධ්‍ය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරණය වුවද මේ වන විට එවැනි කිසිඳු අනවසර කැණීමක් සිදු නොවන බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එම ස්ථානය සංරක්ෂණය කර අවසන් බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

ගාල්ල කොස්ගොඩ ගනේගොඩැල්ල පුරාණ විහාරයේ ඇති බිතිසිතුවම්වල යම් යම් අඳුරු ගැන්වීම් සිදු වී තිබීම හේතුවෙන් ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර ඇති බවත්, ථුපාරාමය සංඝාවාසය අසල නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ථුපාරාමය නායක ස්වාමින් වහන්සේ අවසර ඉල්ලා ඇති අතර ඒ සඳහා එම භුමිය පරික්ෂා කිරීමෙන් ලැබුණු වාර්තාවලට අනුව එම ගොඩනැගිල්ල මඟින් කිසිදු පුරාවිද්‍යා විනාශ වීමක් සිදු නොවන බවට තහවුරු වී තිබෙන බවද
අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කලේය.

පොළොන්නරුව තිවංක පිළිමගෙය තුල ඇති බිතුසිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය සඳහා විදේශ සහාය නොමිලේ ලැබෙමින් පවතින බව සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ සඳහන් කරයි.

පොළොන්නරුව රන්කොත් වෙහෙර මුදුනේ බැද තිබු තුබස් ඉවත් කිරීම සඳහා විද්වත් කමිටුවක් මඟින් නිර්දේශ ලබා ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පුර්ණ අවසරය මත වේයන් මර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගත් බවත්, ඒ පිළිබඳව මධ්‍ය මඟින් පළ කර තිබු පුවත් අසත්‍ය බවත් සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පැවසිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කැනීම් අශයේ සහකාර අධ්‍යක්ෂ සමින්ද පොරඹගේ, සහකාර නීති නිලධාරී රෝහණ කාරියවසම් යන මහත්වරු ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.