රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ දෙයක් බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් තවද එය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායකවරයා පවසයි. ඔහු මේ බව කියා සිටියේ නාරම්මල නගරයේ පැවැති ‘ජනපවුර – දඹදෙණිය’ වැඩසටහනට එක්වෙමිනි.

මෙම ආර්ථික ත්‍රස්තවාදීන් හොර කල්ලි මැර කල්ලි ගජමිතුරුන් සමග අත්වැල් බැදගෙන රට බංකොලොත් කර ලෝකය වටේ සවාරි යමින් ජනතාවගේ ජනදුක පිළිබඳ කිසිදු හැගීමක් නොමැතිව කටයුතු කරන ආකාරය ගැන විරෝධය පළ කළ යුතු බවත් විපක්ෂනායක වරයා එහිදි පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක් වේදනා ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපතිවරයා ගජමිතුරුවාදය අනුගමනය කරමින් සිටින බවයි.

ජනතාව පෙලා ලබා ගන්නා බදු මුදල් දූෂණයෙන් වංචාවෙන් සොරකම් කරන බවත්, රට සිංගප්පූරුවක් කරන බව හා වැල් පාලම් දිගේ ගොස් රට ගොඩනගන බව පැවසුවත් පෝලිම්වල මැරුණු, බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වූ අයට, පවුල් පිටින් සියදිවි නසා ගත් අයට පවා තවමත් යුක්තිය සාධාරණත්වය නොලැබී ඇති බවත් මේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට ගොඩ ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් එසේ ක⁣ටයුතු කර රට බංකොලොත් වීම නිසා අගතියට පත් සෑම පාර්ශ්වයකටම යුක්තිය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.