බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ බංග්ලාදේශයේ විරෝධතා පවත්වන ශිෂ්‍ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී රටින් ද පලා යෑමෙන් පසු බංග්ලාදේශ හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ, තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවයි.

කෙසේ නමුත් විරෝධතාකරුවෝ ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස මුහම්මද් යූනුස් පත් කළ යුතු බව ඔවුන්ගේ ඒකමතික තීරණය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන්, ශිෂ්‍ය සංගම් නායකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන නායකයන් අතර හමුවක් පැවැත්වුණු අතර, සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මුහම්මද් යූනුස් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට කැමැත්ත ලබා දුන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.