ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරග ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ බංග්ලාදේශය කඩුලු 05කින් පරාජයට පත් කරමිනි.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය ජයගත් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය ලකුණු 164කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 04ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් බිඳහෙළුහ.

බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 89ක් රැස්කිරිමට Najmul Hossain Shanto සමත් විය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස්කරමින් සිය ඉලක්කය පසුකර ගියේය. එහිදී සදීර සමරවික්‍රම එක්දින පිටියේ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 54ක් රැස් කළ අතර,
චරිත් අසලංක සිය එක්දින දිවියේ 09වැනි අර්ධ ශතකය ලබාගනිමින් නොදැවී ලකුණු 62ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය එළඹෙන 05වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ලාහෝරයේදී පැවැත්වේ.