ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනට සමගාමීව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද උදෑසන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් බස් සංගම් ලෙස ඉදිරියේදී ගන්නා ක්රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට අද සිය නියෝජිතයින් කොළඹට කැඳවා ඇති බවයි.
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනට සමගාමීව දියත් කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම ඊයේ දිනයේත් පොලිසිය විසින් ක්රියාත්මක කළා.
මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්රියාත්මක කිරීමට ද පියවර ගනු ලබනවා.