සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව ඔහු පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

නීත්‍යානුකුල නොවන මත්පැන් වර්ග වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල මත්පැන් 50%කින් වර්ධනය වෙද්දී විරෝධී මත්පැන් වර්ධනය 500% ඉහළ අගයක පවතින බවය.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්තිය ද හේතුවක් වන බව ඔහු ප්‍රකාශ කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.