පසුගිය 7 වනිදා සිට ලොව පුරා තිරත කිරීම ආරම්භ කළ Jawan බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තබමින් ඉදිරියට ඇදෙනවා. දේශීයව මෙන්ම විදේශීයවත් හින්දි සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බොහොමයක් මේ වන විටත් Jawan ඉදිරියේ ලියැවී හමාරයි.

හින්දි චිත්‍රපටයක් ලද වැඩිම මුල් දින ආදායම = කෝටි 129.6

දේශීයව එක් දිනක් තුළ හින්දි චිත්‍රපටයක් ලද වැඩිම ආදායම = කෝටි 81

සති අන්තයක් තුළ හින්දි චිත්‍රපටයක් ලද වැඩිම ආදායම = කෝටි 316.56

අවම දින ගණනක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 500 වාර්තා කළ හින්දි චිත්‍රපටය = දින 4

ඉන්දියානු චිත්‍රපටයක් නිකුත් වීමට පෙර ටිකට්පත් වෙන් කිරීමෙන් ලද වැඩිම ආදායම = කෝටි 44

ඉහතින් දැක්වන්නේ Jawan මේ වන විට තබා ඇති බොක්ස් ඔෆීස් වාර්තාවලින් කිහිපයක් පමණයි. තිරගත වීම අරඹා  දින 6ක් අවසානයේ ඉන්දියානු රුපියල් කෝටි 600 ක ආදායමක් අභියස පසුවන Jawan චිත්‍රපටය අනිවාර්යයෙන් ඉන්දියානු රුපියල් කෝටි 1500ක ආදායමක් ලබා ගනු ඇතැයි විචාරකයින් විශ්වාස කරනවා. නමුත්, පිට පිට චිත්‍රපට කිහිපයක් අසාර්ථක වීමෙන් පසු වසර 4ක් රංගනයෙන් ද ඉවත් වී සිටි ශාරුක් ඛාන්ගේ Jawan මේ විදියට සාර්ථක වුණේ කොහොමද?

රංගනයෙන් ඈත් වී සිටි ශාරුක් ඛාන්ගේ නැවත පැමිණීම (Come back) ප්‍රේක්ෂකයන් මග බලාගෙන සිටි දෙයක්. එම නැවත පැමිණීම Pathaan වැනි සාර්ථක චිත්‍රපටයකින් සිදු කරන්නට ශාරුක් වාසනාවන්ත වෙනවා. මොකද Pathaan කියන්නේ YRF Spy Universe එකේ 4 වැනි චිත්‍රපටය. YRF Spy Universe එකේ කිසිම චිත්‍රපටයක් අසාර්ථක වුණේ නැහැ. Ek tha Tiger (2012), Tiger Zinda Hai (2017) වගේම  War (2019)  චිත්‍රපටයත් අතිශය ජනප්‍රිය වුණා. ඉතින් Action: Spy ශානරයේම Pathaan චිත්‍රපටයෙන් ශාරුක් දකින්නට ලැබෙනවා කියන එක රසිකයින්ට වෙනස්ම අත්දැකීමක්. Don, Raees, Happy new Year වැනි  චිත්‍රපටවල ශාරුක් රඟපෑ චරිත දෙස බැලූ විට ශාරුක් ඉතා සාර්ථක  ක්‍රියාදාම නළුවකුගේ ලක්ෂණ පෙන්වා ඇති බව සියල්ලන්ම දන්නා කාරණයක් . ඉතින් ක්‍රියාදාම චිත්‍රපටයක් වන Pathaan චිත්‍රපටයේ ක්‍රියාදාම වීරයෙකු (Action Hero) ලෙසින් රහස් ඔත්තු සේවා නියෝජිතයෙකුගේ  (RAW Agent) අළුත්ම චරිතයකින් “බොලිවුඩයේ සිහින කුමරා” නැතිනම් “ප්‍රේමයේ රජු” දැකගන්න ප්‍රේක්ෂකයින් එක් රොක් වීම පුදුමයක් නෙවෙයි. තිරපිටපතේ යම් ගැටළු තිබුණත් කලකට පසු දැකගන්නට ලැබුණු ශාරුක්-දීපිකා සුසංයෝගය, සල්මාන් ඛාන්ගේ ආරාධිත රංගනය, පසුබිම් සංගීතය, අලංකාර ගීත වගේම  උසස් මට්ටමේ  vfx විශේෂ දෘෂ්ඨි ප්‍රයෝග වැනි ධනාත්මක කාරණා බොහාමයක් හේතුවෙන් Pathaan බොක්ස් ඔ‌ෆිස් හි අති සාර්ථක වුණා.

වීරයෙක් වටා ගෙතුණු, අදහාගන්නට බැරි සිදුවීම් වලින් පිරි ත්‍රාසය, කුතුහලය, ප්‍රේමය වැනි සියල්ල නොඅඩුව පිරි “මසාලා” චිත්‍රපට දකුණු ඉන්දියාවට අරුමයක් නෙවෙයි. එවැනි සාර්ථක චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ කොලිවුඩ් අධ්‍යක්ෂක අට්ලි කුමාර්ගේ චිත්‍රපටයක “උතුරු ඉන්දියානු සිනමාවේ රජු” රංගනයේ යෙදීමම Jawan චිත්‍රපටය වටා විශාල උනන්දුවක් (Hype) ඇති කරන්නට සමත් වනවා. “Lady Super Star” ලෙස හඳුන්වන සුපිරි නිලි නයන්තාරා, විජේ සේදුපති, ප්‍රියාමනි, යෝගි බාබු වැනි කොලිවුඩ් නළු නිලියන් සමඟ සුපිරි නිලි දීපිකා පඩුකෝන්, සාන්‍යා මල්හෝත්‍රා, සුනිල් ග්‍රෝවර් වැනි බොලිවුඩ් නළු නිලියන්ද රංගනයෙන් එක්වන Jawan උතුරු දකුණු භේදයකින් තොරව චිත්‍රපටය නරඹන්නට හේතු කාරණා නිර්මාණය කර දී තිබුණා. දකුණු ඉන්දියානු මසාලා චිත්‍රපටයක ප්‍රධානතම අංගයක් ලෙස එහි පසුබිම් සංගීතය (Background Music) සලකනවා. මොකද එවැනි චිත්‍රපටයකට අවශ්‍ය කුතුහලය, ත්‍රාසය තීව්‍ර කිරීමට පමණක් නොවෙයි චරිතයක පෞර්ෂය ගොඩනැංවීමටද පසුබිම් සංගීතය විශාල කාර්යභාරයක් ඉටු කෙරෙනවා. ඉතින්, මෑත කාලීනව ජනප්‍රිය චිත්‍රපට ගණනාවකම සංගීත අධ්‍යක්ෂණය කළ අනිරුද් විසින් Jawan හි සංගීත අධ්‍යක්ෂණය සිදු කිරීමත් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කිරීමට හේතු වී තිබුණා. එමෙන්ම KGF 2, Pushpa වැනි අති සාර්ථක චිත්‍රපට එළි දැක්වූ තෙළිඟු හා කන්නඩා කර්මාන්තවලින් මෙම වසරේ එවැනි චිත්‍රපට බිහි නොවිමත් Jawan සාර්ථකත්වයට යම් බලපෑමක් එල්ලකරන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්.

ශාරුක් ඛාන් මින් පෙර දක්නට නොලැබුණු ආකාර (Avatars) කිහිපයකින් චිත්‍රපටය තුල පෙනී සිටින බව දැක්වෙන ප්‍රචාරක පට පෝස්ටර් ආදිය කලින් කලට නිකුත් කිරීම  මගින් ප්‍රේක්ෂක කුතුහලය වැඩිකිරීමට සමත් වූ නිශ්පාදකයින් චිත්‍රපටය තිරගත කිරීමට කෙටි කාලයක් තිබියදී තිරගත කරන දිනය වෙනස් කිරීමත් ප්‍රචාරක උපක්‍රමයත් ලෙසයි විචාරකයින් හැඳින්වූයේ. එලෙස දකුණු ඉන්දියානු කර්මාන්තයටම අනන්‍ය වූ ප්‍රචාරණ ක්‍රම යොදාගනිමින් චිත්‍රපටය නිවේදනය කළ දින සිටම තිරගත වීම තෙක් ප්‍රෙක්ෂකයින් (Restless) නොසන්සුන් කළ Jawan තිරගත වීමටත් පෙර,චිත්‍රපටයේ නිශ්පාදන වියදම වූ ඉන්දියානු රුපියල් කෝටි 250කට චිත්‍රපටයේ සංගීතය සහ OTT, Satellite විකාශන අයිතිය විකීණිමටත්, පූර්ව ටිකට් වෙන් කිරීම් (Advance bookings) මගින් ඉන්දියානු රුපියල් කෝටි 44ක් උපයා ගැනීමට සමත් වුණා.

දෙමාපියන් වෙනුවෙන් දරුවා පළි ගැනීම, සමාජ අසාධාරණය වෙනුවෙන් වීරයෙකුගේ  නැගී සිටීම වැනි කාරණා දශක ගණනාවක් තිස්සේ ඉන්දියානු චිත්‍රපටවලින් අසීමිතව පතුරු ගැසූ සහ තවත් දශක ගණනක් පතුරු ගැසීමට නියමිත මාතෘකාවන්. අට්ලී කුමාර් සිදු කර තිබෙන්නේ, ඒ සුපුරුදු කතාවම අළුත් වටයකින් කරළියට ගෙන ඒමයි. ‎Mersal (2017),  ‎Bigil (2019) වැනි අට්ලි කුමාර්ගේම චිත්‍රපටවලින් වගේම හොලිවුඩ් චිත්‍රපට කිහිපයක ආභාසයද සහිතව නිර්මාණය කළ මේ චිත්‍රපටය සාම්ප්‍රදායික කොලිවුඩ් චිත්‍රපටයකින් වෙනස් වීම කෙරෙහි ශාරුක් ඛාන්ගේ රංගනය පැහැදිලිවම හේතු වි තිබුණා. මින් පෙරද දඩබ්බර (Badass) චරිත කිහිපයකින් රිදී තිරයට පැමිණි ශාරුක් Jawan හි රඟදක්වන “වික්‍රම් රාතෝර්” චරිතය ඉතා හොඳින් ගොඩනංවා තිබීම කැපී පෙනුණා. ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් එම චරිතය චිත්‍රපටයේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් බව කිව හැකියි.

ආරාධිත රංගනයක යෙදෙන දීපිකා පඩුකෝන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් බව හැඟෙන තරමටම සාර්ථකව චිත්‍රපටය තුළ හසුරුවා තිබීම අගය කළ යුතු සේම ප්‍රධාන දුෂ්ට චරිතය වන “කාලි” රඟ දක්වන විජේ සේදුපතිගෙන් මෙයට වඩා  වැඩි දායකත්වයක් චිත්‍රපටයට ලබා ගැනීමට තිබූ බවයි අපගේ හැඟීම. ශාරුක් විසින් රඟදැක්වූ චරිත ද්විත්වය උත්කර්ශයට නැංවීම තුල “ලොව හතරවැනි විශාලම ආයුධ ව්‍යාපාරිකයා” ලෙස හඳුන්වා තිබූ දුෂ්ඨ චරිතයෙහි දියාරු ගතියක් චිත්‍රපටය පුරාවටම දකින්නට ලැබුණු අතර, අවසන් භාගය තුළ (Climax) පවා විශේෂ යමක් දකින්නට නොමැති වීම විශාල අඩුවක් ලෙස කැපී පෙණුනා. ප්‍රේක්ෂකයින් කිසි ලෙසක අපේක්ෂා නොකරන ආකාරයෙන් චිත්‍රපටයේ පළමු අර්ධය අවසාන වීම නිසා මෙයට වඩා ප්‍රබල අවසානයක් ප්‍රේක්ෂකයන් අපේක්ෂා කළා.එම සියුම් අපේක්ෂාභංගත්වයෙන් හෝ ප්‍රේක්ෂකයාට සිනමා ශාලාවෙන් එළියට බැසීමට ඉඩක් නොතැබීමට වික්‍රම් රාතෝර් සහ ආසාද් වගබලාගෙන තිබුණේ, චිත්‍රපටය අවසානයට එක් කර තිබූ Not Ramaiya Vastavaiya ගීතය තුළ ප්‍රේක්ෂකයා අතරමං කරමින්. ඉතින් කෙටියෙන්ම කීමට ඇත්තේ Jawan කියන්නේ සිනමා ශාලාවකටම ගොස් රසවිඳිය යුතු අති සාර්ථක අංග සම්පූර්ණ “මසාලා” චිත්‍රපටයක් බව පමණයි. කලකට පසු අඩි සිය ගණන් උසට සැදුණු ශාරුක් ඛාන්ගේ දැවැන්ත රූප කිරියෙන් නහවමින්, මල් මාලා පළඳවමින්, පූජා පවත්වමින්, වීදි පුරා නටමින් ගයමින් ප්‍රේක්ෂකයින් සමරන්නේ එම සතුටයි.

උමේෂ් ද සිල්වා