කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් විසින් 19 හැවිරිදි සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

උපකාරක පන්තියක් පවත්වන ස්ථානයකට ඊයේ (13) පස්වරුවේ අදාළ සිසුවිය පැමිණ තිබෙන අතර එම අවස්ථාවේ සැකකාර ගුරුවරයා පන්තිය තුළ සිට ඇති අතර අදාළ උපකාරක පන්තියේ විදුලි බල්බ දල්වා නොතිබීම හේතුවෙන් එම ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී කැමරා සවි කරමින් සිටි පිරිසකට ඒ පිළිබඳ සැකයක් මතුවීම නිසා ඔවුන් අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ වනවිටත් උපකාරක පන්ති ගුරුවරයා සිසුවියට අතවර කරමින් සිට ඇති අතර එහි ගිය පිරිස විසින් ඇයව මුදාගැනීමට කටයුතු කොට ඇති අතර පසුව එහි සිටි පුද්ගලයෙකු විසින් මාවතගම පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත.

එහිදී අදාළ සිසුවියට ගුරුවරයා විසින් මත්වීමට යමක් පානය කිරිමට සලස්වා අතවර කර ඇති බව හෙලි වූ බවත් පන්තිය තුළ තිබී මත්වන යමක් සොයාගත් බවත් පොලිසිය සඳහන් කරයි.

සංවර්ධන නිලධාරියෙකු වන මෙම උපකාරක පන්ති ගුරුවරයා මාවතගම අරංපොළ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වන විට මාවතගම පොලිසිය භාරයේ තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව මාවතගම පොලිසිය සඳහන් කරයි.