ඉන්දියාවේ Behindwoods Gold Icon සම්මාන උළෙලේදී 2024 වසරේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිව ඇත.

ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන වැඩසටහනක් වන මෙම උළෙලේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කොදෙව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ වැනි විදෙස් ක්‍රිකට් තරුද මීට පෙර ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි සම්මානය ජයග්‍රහණය කර ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින මතීෂ, මෙම වසරේදී මෙන්ම පසුගිය 2023 වසරේ පැවැති IPL තරගාවලියේදී සමස්ත ඉන්දියාවේම ආකර්ෂණීය ක්‍රීඩකයෙකු බවට පත්විය.

Behindwoods Gold Icon සම්මාන උළෙල දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන උළෙලක් වන අතර එහිදී සිනමාව, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සම්මාන ප්‍රධානය කරනු ලබයි.

ඉන්දීය තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු දෙපළක් වන රෂ්මිකා මන්දනා හා විජේ දේවරකොන්ඩා රංගනයෙන් දායක වූ ගීතා ගෝවින්දම් සිනමා පටයේ ආකර්ෂණිය කොටසක් රංගනයෙන් වේදිකා ගතකළ අවස්තාව සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ මිලියන ගණනින් ජනප්‍රිය වූයේද මෙම Behindwoods වේදිකාව හරහා වේ.