ගුවන්තොටුපොළ මගින් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි

තවද කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බව ඔහු පවසයි.

මෙම රෝගයට වඩා හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දී ඇති බවත් මේ සම්බන්ධව උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් ද ඔවුන් වෙත ලබා දීමට කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා