පසුගියදා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති රූපවාහිනි විවාදයේදී ජනපති බයිඩන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

එහිදී ජනාධිපතිවරයා පැහැදිලි ලෙසම දුර්වල ලෙස ඊට සහභාගී වූ බව බහුතරයකගේ මතය වෙයි.

එබැවින් එළැඹෙන නොවැම්බර් ජනාධිපතිවරණයට වෙනත් අපේක්ෂකයෙක් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්කළ යුතු බවට විවිධ මත පළවන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් සමග බයිඩන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

එහිදී තම සැලසුම් ගැන පැහැදිලිකර ඇති ජනපතිවරයා තමා ජනපතිවරණයට සහභාගීවන බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

එසේම උප ජනාධිපති කමලා හැරිස් සමග ද ජනාධිපති බයිඩන් පුද්ගලිකව සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපතිවරණය සඳහා ඇය ඉදිරිපත්වීම වඩාත් සුදුසු බවට ද විවිධ අදහස් පළ වෙයි