තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් කළ ඉල්ලීමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රතිචාර දැක්වීය. ඔහු ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම කළ සියලුදෙනා සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

“ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපි කුමක් කරනවද කියලා අපි එකතුවෙලා තීරණය කරනවා. මම ඔබ සියලුදෙනා සමඟ වැඩ කිරීමට කැමතියි. අපි හැමෝම එකතුවෙලා වැඩ කරමු.‘‘ ඊයේ සවස මාතර පැවති ජනහමුවේදී ඔහු රැස්ව සිටි දේශපාලකයන්ට කීවේය.

“මුහුද මැද අතරමං වූ ටයිටැනික් නැවේ නියමුවා විදිහට කටයුතු කිරීමට මට සිදුවුණා. මම එය වරායකට ගෙන ඒමට සමත් වුණා. අපිට දැන් තියෙන්නේ නැව හදන්න. 2022 දී නැව අමාරුවේ වැටුණු විට පැන ගිය අයට එය භාර දෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතුයි.”

“රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපට සහාය දෙන ලෙස මම විරුද්ධ පක්ෂවලටත් කියන්න කැමතියි. මම දැනටමත් රාජ්‍ය මූල්‍ය කමිටුවේ සභාපති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට කතා කර විවිධ පාර්ශ්ව සමඟ ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට සහාය දෙන ලෙස ඔහුට පවසා තිබෙනවා. මම එතුමාට කිව්වා ගිවිසුම් ගැන තොරතුරු කිහිපයක් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී හෙළිකරනවා කියලා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට මෙම ගිවිසුම් නිසැකවම අපට උපකාර වෙනවා. අපි විශ්වාස කරනවා ලබන සතියේ බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුමකට එළැඹිය හැකියි. මේ සියලු ගිවිසුම් ගැන අපිට සභාවේ සාකච්ඡා කරන්න පුළුවන්” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

මීළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලු දෙනා සූදානම් බව රැළිය සංවිධානය කළ ඇමැති කාංචන විජේසේකර පැවසීය.

“අපි ඔබට සහාය දීමට සූදානම් නිසා ඔබට තිබෙන්නේ ඔබේ අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීම පමණයි” යනුවෙන් පැවසූ ඇමතිවරයා,
“සමහරු කියනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවා කියලා. කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහාය දෙන බව ප්‍රකාශ කිරීමට කැමැතියි. කවුරු මොනවා කීවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් යථාර්ථය හොඳින් වටහාගෙන සිටිනවා” යනුවෙන්ද ප්‍රකාශ කලේය.