උපතේදීම මවගෙන් වෙන් කොට පවුල් දෙකකට විකුණා දැමූ නිවුන් සොයුරියන් දෙදෙනෙකු Tik Tok වීඩියෝවක් මගින් හඳුනාගෙන යළි එක් වූ පුවතක් ජෝර්ජියාවෙන් වාර්තා වනවා. Kirtskhi මාතෘ රෝහලේදී උපන් Amy සහ Ano නැමැති මෙම සහෝදරියන් දෙදෙනා උපතේදී මිය ගිය බව හඟවා මවගෙන් වෙන් කර ඇති බවයි පැවසෙන්නේ. ඉන් පසු Amy සහ Ano පවුල් දෙකක හැදී වැඩී ඇති අතර, ඔවුන් දෙදෙනාටම වයස අවුරුදු 12 කාලයේදී ජෝජියාවේ ජනප්‍රිය රියැලටි වැඩසටහනක් වූ Georgia’s Got Talent වැඩසටහනට සහභාගි වූ Ano ව Amy විසින් හඳුනාගෙන ඇත්තේ, ඇය සෑම අතින්ම තමාගේ පනුමට සහ කටහඩට සමාන වීම හේතුවෙන්. නමුත්, පවුලේ කිසිවෙක් එයට යහපත් ප්‍රතිචාර දක්වා නැහැ.

ඉන් වසර 7කට පසු Tik Tok සමාජ මාධ්‍ය ජාලයේ පළ කෙට තිබූ Ano ගේ වීඩියෝවක් Amy විසින් දැකීමෙන් පසු Georgia’s Got Talent වැඩසටහනෙන් තමා දුටුවේ ඇයම බව වටහා ගැනීමෙන් අනතුරුව සොහොයුරියන් දෙදෙනා වසර 19කට පසු එකිනෙකා හමුවී තිබෙනවා. පසුව සොයුරියන් දෙදෙනා එක්වී Facebook සමූහයක උදව්වෙන් සිය මවද සොයාගැනීමට සමත් වී තිබෙනවා. ජෝජියාවේ බිළිඳු ජාවාරම ඉතා තදින් ක්‍රියාත්මක වී ඇති අතර, බිළිඳුන් ලක්ෂයක් පමණ මවගෙන් වෙන් කොට විවිධ පුද්ගලයින් වෙත විකුණා ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.